සොයන්න බලන්න

Showing posts with label පහතරට. Show all posts
Showing posts with label පහතරට. Show all posts

අපේ පාරම්පරික වෙස්මුහුණු සම්ප්‍රදාය

👹|🇱🇰
මහා සම්මත රජුගේ බිසවට නාට්ය දැක සිනාසීමට ඇති වූ දොල දුකක් සංසිඳීමට විශ්මකර්මයා ලවා සක්ර දෙවියා විසින් සාදවන ලද බව තමයි වෙස් මුහුණේ උපත ගැන පැරණි පොත පතෙහි සඳහන් වෙන්නේ.
වෙස් මුහුණු බොහොමයක් මෙම කෝලම් නාට්ය සහ පහත රට නර්තනය හා සම්බන්ධයි.
සැහැල්ලු සහ කල් පවතින ලී වර්ග වන වෙල් කඳුරු සහ රුක් අත්තන යන ලී වර්ග වලින් වර්තමානයේ නිමවන ලාංකීය වෙස් මූණු කලාවේ ඉතිහාසය ඉපැරණි ගෝත්රික ජනාවාස කාලය දක්වා දිව යන්නක්.
නාග රාක්ෂ, ගුරුලු රාක්ෂ වැනි වෙස් මුහුණු රාවනා යුගයේදී භාවිතා කලා යැයි පැවසෙන්නේ ගෝත්රික යුද පිටියේදී සතුරන් බිය වැද්දීමට.
ඉතා විශාල යක්ෂ රාක්ෂ මුහුණු පැලඳ සටන් වැදීමෙන් සතුරන් මේ මිනිසුන් නොව භයානයක සත්වයන් කියා රැවටුන බවයි කියවෙන්නේ.
වර්තමානයේ මේවා යොදාගැනෙන්නේ තොවිල් ආදියට.

සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණු....

වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්රදායික කලාවකි. මෙය උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්රදායන් සමඟ සබැඳිය.
ශ්රී ලංකාව වෙස් මුහුණු සඳහා ඉතාමත් ප්රසිද්ධියක් උසුලන්නා වූ දිවයිනක් වේ. මෙම වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට සාධාරණව කිව නොහැකි වුවත් අනුමාන වශයෙන් එය ශත වර්ෂ කිහිපයක් පමණ ඉපැරණි බැව් කිව හැක. ශ්රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කරණකි. ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට එම ඉතිහාසය සාක්ෂි දරයි.
ශ්රී ලංකාවේ වෙස් මුහුණු කලාව විවිධාකාර වූ සංස්කෘතිකාංගයන් නිරූපනය කරන බව නොරහසකි. එසේම එම වෙස් මුහුණු කලාව ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට සාධාරණ දායකත්වයක් ද ලබා දී ඇත.
ශ්රී ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්රසිදිධ වූ නගරයක් ලෙස දකුණු පළාතේ පිහිටි අම්බලන්ගෙඩ දැක්විය හැක. කෙසේ වෙතත් මෙම නගරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහා ද ඉතාමත් ප්රසිද්ධියක් උසුලයි. විදේශීය සංචාරකයන් අතර ද මෙම අම්බලන්ගොඩ ප්රදේශයේ වෙස් මුහුණු ඉතාමත් ජනප්රය වී තිබේ. මෙම නවීන වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙනු දක්නට ලැබෙන අතර එය සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය සඳහා ඇද ගැනීමට උපක්රමයක් ලෙස ද යොදාගෙන තිබේ.මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබන අතර එය එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට ඉමහත් රුකුලක් වී තිබේ. මෙම වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්යමාන බලවේග සදහායි. යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්යමාන බලවේග පිදීම පිළිබඳ ප්රසිද්ධියක් උසුලන දූපතක් ලෙස ශ්රී ලංකාව දැක්විය හැක.
වෙස්මුහුණු වර්ග
ශ්රී ලංකාවේ භාවිතා කරන වෙස් මුහුණු වර්ග හතකට පමණ බෙදිය හැකි වේ.
රාක්ෂ මුහුණු
යක්ෂ මුහුණු
සන්නි මුහුණු
මිත්යා මුහුණු
දිව්ය පුද්ගල මුහුණු
කෝළම් මුහුණු
සත්ව මුහුණු
ශාන්ති කර්ම
ලංකාවේ ශාන්ති කර්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු කිහිප ලෙසකට මූලිකව වර්ග කල හැක.
1.පුරා වෘත්ත හෙවත් මිත්යා විශ්වාස සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු
2.මිනිස් සහ සත්ව ආත්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු
මෙම වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්රසිද්ධියක් උසුලනු ලබයි. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබයි. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්යවහාර කරනු ලබයි. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබේ. එය නම් දඹදිව සංඛපාල රජුගේ කතාවයි. මෙම පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබයි. මෙම සන්නි යකුමට අයත් නැටුම් කොටස් ලෙස
සැන්දෑ සමයම
යහන් දැක්ම
සොළොස් පාලිය
ආදිය දැකිවිය හැක.
මෙම සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට පහත දැක්වෙන පරිදි වේ.
1.භූත සන්නිය
2.අභූත සන්නිය
3.අමුක්කු සන්නිය
4.වෙඩි සන්නිය
5.වාත සන්නිය
6.කණ සන්නිය
7.පිත් සන්නිය
8.බිහිරි සන්නිය
9.ගොලු සන්නිය
10.මුර්තු සන්නිය
11.දෙමළ සන්නිය
12.නාග සන්නිය
13.කොර සන්නිය
14.ගිනිජල සන්නිය
15.ගුල්ම සන්නිය
16.සීතල සන්නිය
17.දේව සන්නිය
18.කෝල සන්නිය
පහත රට නර්තන සම්ප්රදාය සැලකීමේ දී මේ ආකාරයෙන් පෙළපාලි ප්රමාණයක් දක්නට ලැබෙන ශාන්ති කර්මයක් ලෙස මෙම සන්නියකුම දැක්විය හැක.

(උපුටා පල කරන ලදී ) 

කෝලම් නාට්‍ය සහ සමාජය....

වේශධාරී රංගනය හෙවත් කෝලම් නැටීම අති පුරාණයේ පටන් පවත්නා කලාවකි. ලීයෙන් පිළිම පෙතිකඩ ආදිය නෙළීම ඇරඹීම නිසා ද සඳ කිඳුරු, මනමේ ආදී ජාතක කථා කෝලම් ලෙස රඟ දැක්‌වීමට පටන් ගැනීම නිසා ද වෙස්‌මුහුණු කලාවට බෞද්ධාගම ද එක අතකින් රුකුලක්‌ විය. සිනමාව රූපවාහිනිය ආදිය ඇතිවන්නට පෙර අප ජනීජනයාට කලා රසය හා විනෝද ආශ්වාදය ලබා දීමට ද එය පිටිවහලක්‌ විය.

විශේෂයෙන් එදා පහතරට ධීවර ජනතාවටම උරුම වූ කෝලම් රංගනයට සතියක්‌ පමණ කලින් ඔවුන් ඒ සඳහා සූදානම් වූහ. රංගනය නැරඹීමට පැමිණෙන සියල්ලන් විසින් රංගන ශිල්පීන්ට ඉතාමත් ගෞරවයෙන් සැලකූ අතර ඔවුන්ට පොදුවේ සියලුම ගම්වැසියන් අනගි සහායක්‌ ලබා දුන් අතර කෝලම් මඩුව සැකසීමට අවශ්ය සියලු දෑ (කෙසෙල් කඳන්, ගොක්‌ අතු, ගොරකා අතු, බුරුල්ලා කොළ, විලක්‌කු, පන්දම්, පහන්, මල්, පිරුවට, කෑම බීම) අෙන්යාන්ය සහයෝගයෙන් සපුරා දී ඇත. එදා පහත රටින් ගොස්‌ උඩරට තේ වතුවල දෙතුන් මහල් තේ කම්හල් ස්‌ටෝරු තනා උපයා ගත් ධනය රැගෙන සිංහල අවුරුද්දට ගමට පැමිණි වඩු කාර්මික බාස්‌වරුන් නිසා මෙම කෝලම් රඟ දැක්‌වීම දියුණුවට පත් විය.

කෝලම් ගැමි නාටකය Kolam Gemi Natakaya

උඩරට සම්ප්රදායට අයත් ප්රධාන ගැමි නාටකයක් වන සොකරි ගැමි නාටකයමෙන් ම පහතරට පළාතට ආවේණික වූ ගැමි නාටකය වන්නේ “කෝලම්” නාටකය යි. කෝලම් නාටකයේ මූලික පරමාර්ථය වී ඇත්තේ හාස්ය උප්පාදනය හා සමාජයේ දුර්වල තැන් සියුම් ලෙස උපහාසයට ලක් කරමින් සමාජය සංශෝධනය කිරීමයි. මෙහි අරමුණු තේමා කොට ගෙන ගොඩනැගුණු කෝලම් නාට්යයෙහි විවිධ චරිත ඇති අතර, ජස ලෙන්චිනා කෝලම හා මුදලි කෝලම තුලින් හාස්යය ඇගයීම හා සමාජයේ දුර්වල ස්ථාන විවේචනයට ලක් කරන අයුරු විමසා බලමු.

ජස ලෙන්චිනා කෝලමෙහි ජසයා යනු රජුගේ මාලිගාවේ රෙදි අපුල්ලන, උඩුවියන්, පවාඩ දමන බේබදුකමට ගති පුද්ගලයකි.ඔහුට බිරියන් දෙදෙනෙකු සිටින අතර එයින් එක් බිරිදක් තරුණ අයෙකි. අනෙක් බිරිද මහලු ය.නමින් ලෙන්චිනා හා පුරන්සිනා වන්නේ මොවුන් දෙදෙනා ය. පුරසාරම් බස් දොඩවමින් බේබදු චරිතයක් විදහාපාන ජසයාගේ චරිතය දුටු ඕනෑම අයෙකුට හාස්ය ඉපදීම පුදුමයක් නොවේ. ඒ බවට කදිම නිදසුනකි මේ,
“මේ ගම් පියසේ හේනේ මාමලා
කොච්චර හිටියත් මං වගේ වෙන නැත
රජ වාසලයෙන් සළුපිලි අරගෙන
එන්නෙමි රජු වඩිනා පෙර මුණයට”

Popular posts