ශ්රී ලංකාවේ දෙවි දේවතාවෝ බුදුදහමටත්, කිතු දහමටත්, හින්දු දහමටත් සෘජුව සම්බන්ධ දෙවිදේවතාවෝ හා ගැමි ජනතාවගේ පාරම්පරික ඇදහිලිවලට අරක් ගත් දෙවි දේවතාවෝ වශයෙන් කොටස් දෙකක් වෙති. මෙම දෙවි දේවතාවුන් අතර සෙත් ශාන්ති ගෙන දෙන දෙවි දේවතා පිරිසක් ද වින කිරීම් හා රෝග උපද්රව කිරීම් කරනු ලබන දෙවි දේවතා පියසක් ද වෙති. ඊට අමතරව මෙම අංශ දෙකම නියෝජයන කරන දෙවිවරු සිටිති. කොහොඹා දෙවියෝ ඊට නිදසුන් වෙති. කොහොඹා කංකාරිය, කොහොඹා කම්කාරිය, කොහොඹා යක්‌කම යන ව්යවහාරයන්ගෙන් හඳුන්වන්නේ කොහොඹා දෙවියන් විෂයෙහි (කොහොඹා යනුවෙන් ද හැඳින්වේ.) පවත්වනු ලබන යාගෝත්සවයකි. මෙය ලංකාවේ මධ්යම කඳුකර ප්රදේශවලට ආවේනික වූ ශාන්ති කර්මයකි.
කොහොඹා දෙවියන්ගේ උත්පත්තිය පිළිබඳ ජනප්රවාද කිහිපයකි. කොහොඹ ගසට අධිගෘහිත බැවින් කොහොඹ යකා යනුවෙන් හැඳින්වෙන බව එක් අදහසකි. දඹදිව බරණැස් නුවර ඉන්දර හා පද්මාවතී රජ යුවළගේ දුව වූ චන්ද්රකාමී කුමරිය හා කලිඟුරට කිරදාර හා මායාවතී රජ යුවළගේ පුත් සුරඹා අතර ප්රේම සම්බන්ධයක් ඇති කොට ගත් බවත්, සුරඹා නිසා ගැබ්ගත් චන්ද්රකාමී කුමරිය සුරඹා සමඟ රහසිගතව යන අතරමග වනයකදී කොහොඹ ගසක් යටදී පුත් රුවනක් ප්රසූත කළ බවත් එසේ උපන් කුමරා කොහොඹා නම් වූ බවත් ජනප්රවාදයේ එයි. "මලේ රාජකථාව" නම් ග්රන්ථයට හා "රාජාවාලිය" සඳහන් කරන ආකාරයට කොහොඹා යකාගේ උපත මීට වඩා වෙනස්‌ය. රාවණ රජු පැහැරගෙන ගිය තම බිසව වූ සීතා කුමරියගේ පතිවත ගැන සැක සිතූ විෂ්ණු ගැබ්ගෙන සිටි සීතා වනයට ගෙනගොස් මරා දමන ලෙස සමන් දෙවිඳුට අණ කළේය. නමුත් සීතාව කෙරෙහි අනුකම්පා උපදවාගත් සමන් සීතාවට වනයේදී ජීවිත දානය දී එකෙකුගේ ලෙයින් අසිපත කොටාගෙන විත් විෂ්ණුට දැන්වීය. ප්රසව වේදනාවෙන් සිටි සීතාව වැල්මනී නම් තාපසයාගේ උදව් ලැබිණි. ඇය දරුවා ප්රසූත කළාය. දරුවා තාපසයාට භාරකොට ඇය පළවැල එකතු කිරීමට ගිය අවස්‌ථාවක දරුවා යහනින් වැටී හඬමින් සිටිය නමුqත් දරුවා ස්‌පර්ශ කිරීම අකැප යෑයි සිතා යහනට මලක් දැමීමෙන් යහන මත කුමරෙකු නිර්මාණය විය. සීතා පැමිණ යහන මත වූ දරුවා නළවන අතර යහන යටින් ද දරුවකු හඬනු අසා ඇය කලබල වූවාය. ඒ ගැන තාපසයාගෙන් විමසූ විට තාපසයා තවත් දරුවකු මවා පෙන්වීය. සීතා මෙම දරුවන් තිදෙනාම ඇති දැඩි කළාය. මලේ රජදරුවන් ලෙස හැඳින්වූයේ මොවුන් තිදෙනාය. ඒ අනුව කොහොඹා දෙවියන් යනු මලේ රජම බව කියවේ.